Wednesday, November 29, 2023
spot_img
මුල් පිටුවEducationවයස 16 ට අඩු පෙම්වතියක සමග ගමන් බිමන් යාම වරදක් ද? -...

වයස 16 ට අඩු පෙම්වතියක සමග ගමන් බිමන් යාම වරදක් ද? – නීතිමය පසුබිම පිළිබඳ පැහැදිලි කිරී​ම

ශ්‍රී ලංකාවේ නීතිය අනූව කාන්තාවකට ලිංගික ක්‍රියාවක් සඳහා වලංගු කැමැත්තක් ලබා දීමට හැකි වන්නේ වයස අවුරුදු 16 සම්පූර්ණ වූ විටය.වයස අවුරුදු 16 ට අඩු දැරියක සමග ඇයගේ කැමැත්ත ඇතිව වුවද යම් අයෙකු ලිංගික ක්‍රියාවක යෙදුන හොත් එය දඬුවම් ලැබිය හැකි වරදක් වේ.මෙම වයස් සීමාවේ දැරියක මවගේ කැමැත්ත නොමැතිව පෙම්වතෙකු විසින් යම් කිසි ස්ථානයකට රැගෙන යාම වරදක් ද යන්න කෙටියෙන් සොයා බැලීම මෙම ලිපියේ අරමුණ යි.

වයස 16 ට අඩු ගැහැණු ළමයෙකු භාරකරුගේ කැමැත්ත නොමැතිව යම් අයෙකු ගෙන ගිය හොත් හෝ යෑමට පෙළඹුවහොත් “නීත්‍යානුකූල භාරකාරත්වයෙන් අපහරණය” නම් වරද සංස්ථාපනය වන බව දණ්ඩ නීති සංග්‍රහයේ 352 වගන්තියේ සඳහන් වේ.

මීළඟට මතු වන ගැටලුව වන්නේ වයස 16 ට අඩු ගැහැණු ළමයෙක් කතාබහ කිරීම සදහා පෙම්වතා සමග යම් ස්ථානයකට යාම මගින් නීත්‍යානුකූල භාරකාරත්වයෙන් අපහරණය වරද සංස්ථාපනය වන්නේ ද යන්නයි.

නල්ලයියා එරෙහිව හේරත් (54 NLR 473) නඩුවේදී තීරණය කරනු ලබන්නේ භාරකරු වෙත දරුවාට නැවත පැමිණීමේ අවස්ථාවට බාධාවක් නොවන පරිදි වැරදි අරමුණකින් (Improper Purpose ) තොරව යම් තාවකාලික අරමුණකට නීත්‍යානුකූල භාරකාරත්වයෙන් බැහැර වීම මගින් 354 වගන්තිය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් සංස්ථාපනය නොවන බවයි.

නීතියට අනූව ලිංගික ක්‍රියාවක් සඳහා වලංගු කැමැත්තක් ලබා දිය හැක්කේ වයස 16 ට වැඩි කාන්තාවකට පමණක් බව මීට ඉහතදී සඳහන් කළෙමි.යම් පුද්ගලයෙකු වයස අවුරුදු 16 කට අඩු දැරියක ලිංගික ක්‍රියාවක් සඳහා යොදාගැනීම සඳහා යම් ස්ථානයකට රැගෙන යාම මගින් නීත්‍යානුකූල භාරකාරත්වයෙන් අපහරණය නම් වරද සංස්ථාපනය වේ.එසේම අදාල ක්‍රියාකලාපය තුළදී යම් ලිංගික කටයුත්තක් සිදු වුවහොත් ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණය හෝ බරපතල ලිංගික අපයෝජනය වැනි වරදක් ද සංස්ථාපනය වේ.

යම් වයස 16 ට වැඩි 18 ට අඩු දැරියක පෙර අවස්ථාවක යම් ලිංගික අපරාධයකට හෝ වෙනත් අපරාධයකට නතු වීම යන කාරණය මත අධිකරණය විසින් එම දැරිය බැඳුම්කරයක් මත දෙමාපියන්ට හෝ භාරකරුට භාරකාරත්වය පවරා ඇති විටෙක යම් පුද්ගලයෙක් එම දැරිය ඇයගේ කැමැත්ත මත එම භාරකාරත්වයෙන් බැහැරට නැවත දෙමාපියන්ට බාර දීමේ අරමුණෙන් තොරව රැගෙන ගියහොත් එම ක්‍රියාව කරනු ලබන පුද්ගලයා නීත්‍යානුකූල භාරකාරත්වයෙන් අපහරණය කිරීමේ චෝදනාවට වරදකරු නොවනවා වුවද අධිකරණ නියෝගයක් කඩ කිරීමේ වරදට වැරදිකරු වීමේ හැකියාවක් පවතී.

ඒ අනූව පෙනී යන්නේ යම් පෙම්වතෙකු පෙම්වතියක සමග වැරදි ක්‍රියාවක් කිරීමේ අරමුණින් තොරව යම් ස්ථානයකට (උදාහරණයක් ලෙස ව්‍යාපාරික ස්ථානයකට,උද්‍යානයකට,වෙරළකට හෝ අවන්හලක් වැනි ස්ථාන) යාම හෝ ගොස් කතාබහ කිරීම මගින් “නීත්‍යානුකූල භාරකාරත්වයෙන් අපහරණය ” නම් වරද සංස්ථාපනය නොවන බවයි.

අප මීළඟට සලකා බැලිය යුත්තේ ප්‍රසිද්ධ ස්ථානයක ලිංගිකව හැසිරීම හෝ සිපවැළඳ ගැනීම වරදක් වන්නේ ද යන්නයි.1841 අංක 04 දරණ අයාල ආඥාපනතේ (Vagrants Ordinance ) 07(ආ) වගන්තිය අනූව ප්‍රසිද්ධ ස්ථානයක ඒ අවට දී අශිෂ්ට ලෙස හැසිරීම හෝ එබඳු ක්‍රියාවකට අනුබල දීම වරදක් වේ.අශිෂ්ට ලෙස හැසිරීම යනු කුමක්ද යන්න ඒ ඒ නඩුවේ සිද්ධමය කරුණු අනූව සලකා බැලිය යුතු වේ.නමුත් වයස 16 ට වැඩි පුරුෂයෙකු සහ කාන්තාවක සිපවැළඳ ගැනීම අශිෂ්ට හැසිරීමක් ලෙස අර්ථනිරූපණය කිරීමට අපහසු බව පෙනේ.

යම් උද්‍යානයක,සිනමා ශාලාවක හෝ විවෘත ස්ථානයක සිටින වයස 16 සම්පූර්ණ වූ පුරුෂයෙකු සහ ස්ත්‍රියක අතඅඩංගුවට ගැනීමට නම් අශිෂ්ට ලෙස හැසිරීම නම් වරද සංස්ථාපනය විය යුතු වේ.එසේ නොමැතිව දෙමාපියන්ගේ කැමැත්ත නොමැතිව පැමිණීම,ගෙදරට අසත්‍ය ප්‍රකාශ කර පැමිණීම වැනි කාරණා මත එවන් පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට පොලීසියට නෛතික බලයක් නොමැත.එසේම එවැනි අයෙකුගේ දෙමව්පියන් පොලීසියට කැඳවීමට ද බලයක් පොලීසියට නොමැත.

අවසාන වශයෙන් යම් ලැගුම්හලක සිටින වයස 16 ට අඩු කාන්තාවක සහ පුරුෂයෙකු අත් අඩංගුවට ගැනීමට පොලීසියට බලයක් තිබේද යන්න විමසා බලමු.විවාහ නොවූ දෙදෙනකු ලිංගිකව හැසිරීම ශ්‍රී ලංකාවේ අපරාධ වරදක් නොවේ.එසේම අනාචාරය ලෙස හඳුන්වන තවත් වෛවාහක අයෙකු සමග යම් අයෙකු ලිංගිකව හැසිරීම සිවිල් වරදක් වුවද එය අපරාධ වරදක් නොවේ.එම නිසා අනාචාරය සම්බන්ධව කිසිවෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසියට නෛතික බලයක් නොමැත.මෙම නීති තත්වය ඩැනී එරෙහිව සිරිනිමල් සිල්වා (2001(1) SLR 29) නම් මූලික අයිතිවාසිකම් පෙත්සමේදි තීරණය කොට ඇත.මෙවැනි අත්අඩංගුවට ගැනීම් මූලික අයිතිවාසිකම් කඩ කිරීමක් බව ද එහිදී තවදුරටත් තීරණය කරන ලදි.

අපරාධ වරදක් නොකරන පෙම්වතුන් යුවලක් නීතිවිරෝධී ලෙස අත්අඩංගුවට ගතහොත් ඊට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කොට වන්දි ලබා ගැනීමට හැකි බව මේ අනූව පැහැදිලි වේ.පොලීසියක කාර්‍ය විය යුත්තේ නීතිය ක්‍රියාත්මක කිරීම මිස සදාචාරය රැකීම හෝ සංස්කෘතිය රැකීම නොවේ.නීතියේ ප්‍රතිපාදනවලට පටහැනිව කරනු ලබන සියලු අත්අඩංගුවට ගැනීම් ශිෂ්ට සමාජයක් විසින් හෙළා දැකිය යුතු අතර ඒවාට එරෙහිව සංවිධානය විය යුතුද වේ.

~ නීතීඥ සාරංග වාදසිංහ ~

RELATED ARTICLES

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

Most Popular

Recent Comments