පාර්ලිමේන්තුව අද (03) පෙරවරු 09.30ට රැස්වීමට නියමිත අතර, ලබන 6 වනදා දක්වා පළමු සතියේ සැසිවාරය පැවැත්වීමට නියමිතය.
අද පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 දක්වා සිවිල් නඩු විධාන සංග්‍රහය සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීම පැවැත්වෙන අතර මැතිවරණ විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත දෙවන වර කියවීම සිදුකෙරෙන බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
එමෙන්ම සමත මණ්ඩල පනත යටතේ වන නියෝග විවාදයට ගැනීමට නියමිත අතර අධිකරණ සංවිධාන පනත යටතේ නියමයන් විවාදයට ගැනීමට නියමිතය.
මේ අතර මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ වූ පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
කෙසේවෙතත් ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත අද දිනයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවසුවේය.
එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම තවදුරටත් කල්යනු ඇති බව විජයදාස රාජපක්ෂ අමාත්‍යවරයා සඳහන් කළේය.
මේ අතර මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ වූ පනත් කෙටුම්පත සහ ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත යන පනත් කෙටුම්පත් දෙකම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම්වලට පටහැනි බව නීතීඥ සාමූහිකය පවසයි.
එහි නියෝජිත ජනාධිපති නීතීඥ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා සඳහන් කළේ, එම පනත් ගෙන ඒම ආණ්ඩුවේ එක්තරා වැඩපිළිවෙළක කොටසක් දැයි සැකසහිත බවය.
ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා පැවසුවේ, අදාළ පනත් කෙටුම්පත් දෙක නීතිගත වුවහොත් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය තවදුරටත් සීමාවන බවය.
සමාජ මාධ්‍ය හරහා අගතියට පත්වන අයෙකුට සාධාරණය ඉටුකර ගැනීම සඳහා අවශ්‍ය නීතිමය කටයුත්ත නිර්මාණය කිරීම පමණක් මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ වූ පනත මඟින් සිදුවන බව ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා සඳහන් කළේය.